2015/03/16

349 liquor stores closed on the orders of the President.


 
                      සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස දිවයින පුරා පාසල්, විහාරස්ථාන ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසල්වල බලපත්‍ර වහාම අවලංගු කර එම සුරාසල් වසා දැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ උපදෙස් දී ඇත. එලෙස පවත්වාගෙන යන සුරාසල් 349 ක් පිළිබඳ අනාවරණය වී ඇති අතර හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ඒවාවසා දැමීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (16) සවස ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වෙමිනි. වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එම කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
                මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා නීතිපතිවරයාට උපදෙස් ලබා දෙනු ලැබිය.
            
බූස්ස එළිමහන් සිර කඳවුරේ දැනට සිටින සිරකරුවන් සුළු පිරිස වෙනත් සිරකඳවුරකට යොමු කර බූස්ස එළිමහන් සිරකඳවුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගන්නා ලෙස අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේ ය.
ලෝකයේ සංවර්ධනය වන කිසිදු රටක නගර මධ්‍යයේ සිරකඳවුරු පවත්වාගෙන නොයන අතර අපේ රටේ ද නගර මධ්‍යයේ ඇති සියලු කඳවුරු වෙනත් සුදුසු ස්ථානවලට යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
සෞඛ්‍ය විෂය පාසල් අධ්‍යාපනයට අනිවාර්යය විෂයක් බවට පත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් අතර විභාගවලට අනිවාර්යය විෂයක් ලෙස නොව දරුවන්ට අනිවාර්යයෙන් ඉගැන්විය යුතු විෂයක් බවට සෞඛ්‍ය විෂය පත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතන සමග සාකච්ඡා කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දුම්කොළ සහ මද්‍යසාර නිවාරණය සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා අනු කමිටු කිහිපයක් පත් කිරීමටද මෙහිදී උපදෙස් දී ඇති අතර ලෝක දුම්වැටි දිනයට සමගාමීව දුම්කොළ සහ මද්‍යසාර නිවාරණය සඳහා විශේෂ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.
පූජ්‍ය අතුරලියේ රතන හිමි, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ‍පොලිස්පතිතුමාද රාජ්‍ය නිලධාරීහුද මීට එක්ව සිටියහ.
Share:

0 comments:

Post a Comment

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support