2015/03/16

Sri Lanka's crucial match tomorrow.

             


            ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ තවදුරටත් නොදැවී සිටීමේ මානසිකත්වයෙන් සන්නද්ධව සිටින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හෙට (18 දා) සුපිරි අට වටය අරඹමින් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ. පරාජිතයන් ගෙදර යෑවෙන වටයේ උණුසුම් තරගය ලෙස ද මෙය හැඳින්වේ. ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු තමාගේ කොල්ලන් පීඩනයට ඔරොත්තු දෙන බව පවසන අතරවාරයේ හසීම් අම්ලාද ඇති තරම් ලකුණු ලබා ගැනීමේ නොනිමි ආශාවකින් පෙළෙන බව සිඩ්නි හී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එම අභියෝගය ජය ගැනීමට කණ්‌ඩායම් දෙකේම ප්‍රහාරකයන් හොඳින් මුවහත්ව සිටියද පීඩනය සැහැල්ලූවෙන් කර මත තබා ගන්නා කණ්‌ඩායම සිහිනයේ සැබෑ හිමිකරුවන් ලෙසින් තවදුරටත් තරගාවලියේ නොදැවී සිටිනු ඇත. මම අපේ කණ්‌ඩායමත්

එක්‌ක අවුරුදු හතරක්‌ ඉඳල වැඩ කරනවා. මේ කණ්‌ඩායම ලෝක කුසලාන තරගාවලි කිහිපයකම අවසන් තරගවලට ක්‍රීඩා කරලා පීඩනය හොඳින් අඳුරනවා. ඒ නිසා ඔවුන් කළ යුත්තේ කුමක්‌ද කියා දැනගෙන තමයි සටනට එන්නේ යනුවෙන් මාවන් අතපත්තු පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පීඩනයට පදම් වුවද දකුණු අප්‍රිකාව ඉතිහාසය පුරාවටම පීඩනයට ඔරොත්තු නොදී දැවීගිය අවස්‌ථා කිහිපයක්‌ම තිබේ. 1992, 1999 සහ 2007 වසරවලදී දකුණු අප්‍රිකාවට සිදුවූයේද පීඩනය දරාගත නොහැකිව ලෝක කුසලාන අවසන් සටන අභියසටම පැමිණ ආපසු හැරී යැමටය.

ආබාධ සුවවීමෙන් පසු රංගන හේරත් ද සෙමින් සීරුවේ වැඩ පටන්ගෙන තිබේ. ඔහුගේ අත වෙලුම් පටියකින් ආවරණය කර තිබුණද එය ඒ හැටි ගණන් ගැනිය යුතු දෙයක්‌ නොවන බව ඔහුගේ රංගනය බලා සිටීමේදී පැහැදිලිව පෙනේ. එංගලන්තය සමඟ තරගයේදී හේරත්ගේ වමතේ ඇඟිලි දෙකක්‌ තුවාල වීම හේතුවෙන් යොදන ලද මැහුම් ඉවත් කර ඇති අතර තරගයට දින දෙකක්‌ පමණ ඉතිරිව තිබෙන බැවින් රංගනගේ සහභාගීත්වය පිළිබඳව 80% ක විශ්වාසයකින් තේරීම් කමිටු සභාපතිවරයා පසුවේ. කුසල් පෙරේරා හෙට තරගයේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරවන්න අදහසක්‌ තිබේද යන්න සනත් ජයසූරියගෙන්විමසන ලදුව, දැන් කණ්‌ඩායමට ඇවිල්ල ඉන්නවනෙ. අවශ්‍ය වුණොත් එයාට ඉනිම ඕපන් කරන්න වුණත් පුළුවන්යනුවෙන් පැවසීය. එහෙත් මාවන්ගේ මතය වන්නේ, මුල් පිතිකරුවන් හත් දෙනා පිතිකරු ස්‌ථානයේ ඕනෑම ස්‌ථානයක බැට්‌ කරන්න පුලූවන් වෙන්න ඕන. ඒක තමයි දක්‍ෂතාවය. කුසල්ට මුලින්ම ගහන්න ඕන කියල එකක්‌ නැහැ. එයා දක්‍ෂ නම් දෙන ඕනම තැනක බැට්‌ කරල පෙන්වන්න ඕන. යනුවෙනි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ පිලේ හසීම් අම්ලා සිඩ්නි තණතීරුවේදී ඇති හැටියට පිති ප්‍රහාරයේ යෙදීමේ සිහිනයක තනිවී සිටියි., මට අවශ්‍ය ඉවර වෙනකම්ම පන්දුවට පහර දෙන්න. මගේ සැලසුම කරන්න අපේ ඩිවිලියර්ස්‌, කුයින්ටන් ද කොක්‌ සහ ඩු ප්ලෙසිස්‌ බලා ඉන්නවා. අපි හතර දෙනා එකතු වෙලා ඇති තරම් ලකුණු ලබා ගන්න තමයි උත්සහය. අපි මීට මාස එකහමාරකට ඉස්‌සර වෙලත් ඔස්‌ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ ක්‍රීඩා කළා. අපේ කොල්ලො ටිකත් හොඳ නැවුම් බවකින් ලෑස්‌ති වෙලා ඉන්නව තරගයට මුහුණ දෙන්න යනුවෙන් අම්ලා වැඩිදුරටත් පැවසීය.
මෙවර තරගාවලියේදී පිතිකරුවන්ටම ගැලපෙන තණතීරු නිර්මාණය කිරීමට සත්කාර රටේ තණතීරු සකසන්නන් ක්‍රියාත්මක වීම මත පන්දු යවන්නන්ව හෙම්බත් වන තරගයක්‌ හෙට දිනයේදීද දැක බලාගැනීමේ අවස්‌ථාව ප්‍රේක්‍ෂකයන්ට හිමිවනු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් තණතීරුවේ අවසන් තත්ත්වය පරීක්‍ෂා කරන තුරු එහි ස්‌වභාවය තීන්දු කිරීමට කණ්‌ඩායම් දෙකේම නායකයන් මැලිකමක්‌ දැක්‌වුවද ඊයේ දිනයේදීත් ඔවුන් තණතීරුව අතපතගාමීන් එහි තත්ත්වය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත්තේය.
සිඩ්නි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙනුවෙන් නිවැරදි මාවතේ ගමන් කිරීමට පසුගිය වකවානුවේ සමත් වුවත් ඉකුත් 8 වැනිදා ඔස්‌ටේ්‍රලියාව හමුවේ තියුණු සටනකින් පසුව පරාජයට පත්විය. යළිත් සිඩ්නි ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහී මාවත සොයා යමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත වන ආකාරය අනුව ඔවුන්ට තවදුරටත් තරගාවලියේ නොදැවී සිටීමේ සම්මුඛ පරීක්‍ෂණයේදී විශිෂ්ට සාමාර්ථයක්‌ ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.
ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයට සකසා තිබූ සිඩ්නි තණතීරුව දග පන්දු යවන්නන්ට උචිත ලෙස දිස්‌ වුවද එය තේරීම් කමිටු සාමාජිකයන් මුලාවේ දැමීමක්‌ බව පැහැදිලි වූයේ එම තරගය අවසානයේදී දෙපිලේම ලකුණු සාරාංශය නිරීක්‍ෂණය කිරීමේදීය. එම තරගයේදී කණ්‌ඩායම් දෙකම ලකුණු 688 ක්‌ ලබා ගන්නා අතරවාරයේ දඟ පන්දු යවන්නන්ට බිඳ දැමීමට හැකිවූයේ එක්‌ කඩුල්ලක්‌ පමණි. එබැවින් හෙට තණතීරුව පිළිබඳව ශ්‍රී ලංකා නායකයා දැඩි අවධානයකින් බලා සිටියි. තණතීරුව දඟ පන්දු යවන්නන්ට කිසිම සහයක්‌ දැක්‌වූයේ නැහැ. එහෙම තණතීරුවක පිතිකරුවන්ව පාලනය කිරීම ඉතාමත් අපහසුයි. යනුවෙන් සචිත්‍ර සේනානායක ඔස්‌ටේ්‍රලියානු තරගයෙන් අනතුරුව පැවසීය.
සංගක්‌කාර, මහේල, ඩිල්ෂාන්, තිරිමාන්න සහ මැතිව්ස්‌ පසුගිය දින කිහිපයේදී සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුමට මදක්‌ එපිටින් සකසා ඇති පුහුණු දැල් තුළ තම පිති හොඳින් පන්දුවට පදම් කරමින් අපූරු පිතිකරණ පුහුණුවක නිරත වූහ. තිසර පෙරේරා, කුසල් පෙරේරා සහ නුවන් කුලසේකර ද හෙට තරගය ඉලක්‌ක කරමින් පන්දුවෙන් පමණක්‌ නොව පිතිප්‍රහාරයටද කාලය කැප කළේය. තම කණ්‌ඩායමට වටිනා මුතු මැණිකක්‌ බඳුව සිටින සංගක්‌කාරට සහ මහේල ජයවර්ධනගේ සමුගැනීම ලෝක කුසලාන ජයග්‍රහණයකින් සමරන්නට මැතිව්ස්‌ ප්‍රමුඛ සගයන් ඉස්‌පාසුවක්‌ නැතිව වැඩ පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් හෙට තරගයට ක්‍රියාත්මක කරන සැලසුම සඳහා අවසන් අත්හදා බැලීමේ පෙර පුහුණුවට කණ්‌ඩායම් දෙකම අද සිඩ්නි ක්‍රීඩාංගණයට පැමිණෙයි. එහිදී ශ්‍රී ලංකාවට පන්දු රැකීමේ අඩුපාඩු නිවැරදි කර ගැනීමේ අභියෝගයට තවදුරටත් වෙහෙස විය යුතුව තිබේ. ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ටේ්‍රවර් පෙනී, අපේ පන්දු යෑවීම ගැන තෘප්තිමත් යනුවෙන් මාධ්‍ය හමුවේ පැවසුවද සමස්‌ත තරගවලියේදී ශ්‍රී ලංකාව පන්දු රැකීම නීරස්‌බව බොහෝ දෙනා පවසති. එයද හෙට දිනයට පෙර නිවැරදි කර ගතහොත් ශ්‍රී ලංකාව මෙන්ම මහේල සහ සංගක්‌කාරද තවදුරටත් ජාත්‍යන්තර එක්‌දින පිටියේ නොදැවී සිටිනු ඇත.

Share:

0 comments:

Post a Comment

Sports

කලා/Art News

Blog Archive

දේශපාලනික /Political News

Technology

ව්‍යාපාරික/Business News

Support